2018 වසරේ දෙසැම්බර් මස 2 වන දින සිට 5 වන දා දක්වා රුසියාවේ මොස්කව් හි දී පැවති ජාත්‍යන්තර ස්වේච්ඡා සංසදයට නියෝජිතයින් නව (09) දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවෙන් සහභාගී විය.

රුසියාවේ ජනාධිපති පරිපාලන කාර්යමණ්ඩලයේ පළමු නියෝජ්‍ය ප්‍රධානී සර්ජි කිරියෙන්කෝ මහතා විසින්, රටවල් 120 ක් නියෝජනය කරමින් පැමිණ සිටි 15,000 ක් පමණ වූ පිරිස අමතමින් පිළිගැනීමේ දේශනය පවත්වන ලදී.
පළමු දිනය තුල, සමුළුවට සහභාගීවුවන් විසින් පුණ්‍යායතන සහ සමාජ සුභසාධන සංවිධාන වෙත නිල සංචාරයක් සිදුකරන ලදී .
දෙසැම්බර් 05 වන දින රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා විසින්, 2018 වසරේ හොදම ස්වේච්ඡා නියෝජිතයාට හිමි සම්මානය රුසියානු වෛද්‍ය ශිෂ්‍යයකු වන ඇන්ටන් කොරොචෙන්කෝ වෙත ඔහුගේ 'සෞඛ්‍ය සම්පන්න ගම්මානය' නම් වූ ව්‍යාපෘතිය සඳහා ප්‍රදානය කිරීමද මෙම සංසදය තුලදී සිදු විය.
මෙම සංසදය, ශ්‍රී ලංකා දූත පිරිසට අනෙකුත් තරුණ සංවිධානවල නායකයින් සමඟ කටයුතු කිරීමට සහ ඔවුන්ගේ අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා වැදගත් සංධිස්ථානයක් සැපයුනු අතර ඔවුන් හට නව සම්බන්ධතා ඇති කර ගැනීමට ද වටිනා අවස්ථාවක් විය. පාකිස්තානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ මැලේසියාවේ තරුණ කටයුතු පිළිබඳ නියෝජ්‍ය සභාපතිවරයා සමග වෘත්තීය මාර්ගෝපදේශනය සහ තරුණ කටයුතු පිලිබඳ සාකච්ඡා පැවැත්වීමටද මෙමගින් ඔවුන්ට අවස්ථාව උදා විය .
එමෙන්ම දෙසැම්බර් මස 6 වන දින ශ්‍රී ලාංකික නියෝජිත පිරිස රුසියානු තරුණ සේවා සභාවේ ප්‍රධානී ග්‍රෙගරි පෙතුෂොව් මහතා ද මුණගැසුණු අතර, එහිදී දෙරටේ තරුණ සේවා සභාවන් අතර සහයෝගීතාවය වර්ධනය කරගැනීමට ඇති අවස්ථාවන් පිලිබඳ සාකච්ඡා කරන ලදී . මෙම සාකච්ඡාව තුලදී දෙරටේ තරුණ සේවා සභාවන් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද යෝජනා කෙරිණි.
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මැතිතුමන් සහ එම මැතිනියද සහභාගී වූ, එම තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් පිරිනමන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකට ද මෙම නියෝජිත පිරිස සහභාගී විය.
ශ්‍රී ලංකාවේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ නායකත්වය නියෝජනය කරමින් සංසදයට සහභාගී වූ නියෝජිත පිරිසට, තානාපතිතුමන් සහ එම මැතිනිය සමග ඉතාම සුහදශීලි මෙන්ම විවෘත සංවාදයක් සඳහා ද මෙහිදී ඉඩකඩ විවර විය.