ශ්‍රී ලංකාවේ අභිනවයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යධුරයට පත්, ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මැතිතුමා වෙත රුසියානු සමුහාණ්ඩුවේ ආරක්ෂක අමාත්‍ය ගරු ශර්ගෙයි ශොයිගු මැතිතුමා විසින් නිල සුභ පැතුම් පණිවුඩයක් යොමු කොට ඇත. එමෙන්ම රුසියානු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ගරු කර්නල් ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ෆෝමින් විසින් ශ්‍රී ලංකාවේ නව ආරක්ෂක ලේකම් තනතුරට පත් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙත ද සුභාශිංසන යොමු කර ඇත.

වසර 60 කට පෙර ස්ථාපිත කරනු ලැබ දිගුකාලීනව බැඳී පවතින ශ්‍රී ලංකාව හා රුසියානු රාජ්‍ය තාන්ත්‍රික හා මිත්‍ර සබඳතාවය පිළිබඳ, මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා යොමු කරන ලද මෙම නිල සුභ පැතුම් පණිවුඩ මගින් රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සහ ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් දැඩිව ආවධාරණ කර ඇත. අන්‍යෝන්‍ය සහයෝගීතාවය තවදුරටත් වැඩිදියුණු කරමින්, මෙම වසරේදී අත්සන් කිරීමට යෙදුණු 'ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අන්තර් රාජ්‍ය ගිවිසුම' ආරක්ෂක ක්ෂේත්‍රයේ රුසියානු - ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීමේ මාවතෙහි තවත් එක් පියවරක් බවට පත්විය. මෙම ගිවිසුම මගින් දෙරට අතර ආරක්ෂක සහයෝගිතාවය වර්ධනය කිරීමේ නව අපේක්ෂාවන් විවෘත වී ඇත.

දකුණු ආසියානු කලාපයේ සහ ඉන්දියානු සාගරයේ සාමය පවත්වා ගැනීම සහ ස්ථාවරත්වය වෙනුවෙන් දෙරට අතර ආරක්ෂක හා ආරක්ෂක
තාක්ෂණික සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා මෙම නව පත් කිරීම් දායක වනු ඇති බවට රුසියානු ආරක්ෂක අමාත්‍ය ශර්ගෙයි ශොයිගු මැතිතුමා විශ්වාසය පල කර ඇත.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර දිගුකාලීන සහයෝගීතාවය දෙස ඉදිරියේදී ද සුබවාදී දැක්මකින් කටයුතු කරන බව රුසියානු සමූහාණ්ඩුව තව දුරටත් දන්වා ඇත.